ඉතිහාසය

කුරුණෑගල නගරයට ඉතා ආසන්නයේ නගරයට බටහිර දිගින් පිහිටි මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය ප්‍රධාන ගම්මාන දෙකකින් සමන්විතය. එනම් බමුණාවල හා කුඹල්පොල යි. ඊට අමතරව අනු ගම්මාන ලෙස මුදුන්පිට, දේවාලකන්දවත්ත, කන්දේවත්ත, පිංවලපිටියවත්ත, ගැමුණු ‍පෙදෙස, අලුත් මල්කඩුවාව හැදින්විය හැක. මෙම ගම් වලින් ප්‍රධාන ගම්මාන දෙක වන  බමුණාවල හා කුඹල්පොල පිළිබදව ‍ඓතිහාසික වශයෙන් වැදගත් තොරතුර පහතින් දැක්වේ. 


බමුණාවල

ඓතිහාසික කුරුණෑගල රාජධානිය සමයේහී රජවරුන්ට පුරෝහිතකම් කල බමුණු කුලයේ අය සිටි අතර කුරුණෑගල යුගයේ අවසන් රජු ලෙස සැලකෙන හතර වන විජයබාහු රජතුමා නිතර කෙළිදෙලෙන් පසුවූ, රාජ්‍ය පාලනයට වඩා විනෝදයට මුල්තැන දුන් රජෙකු ලෙස ප්‍රකටය. මෙම රජු කුරුණෑගල නගරය අසල පිහිටි අසවැද්දුම ගමේ මුස්ලිම් කාන්තාවක් සමග රහසිගතව සම්බන්ධකමක් පවත්වාගෙන ගිය අතර රජුගේ පුරෝහිත බමුණා වන අලග්ග බමුණාද මෙම කාන්තාව සමග රහසිගතව සම්බන්ධයක් පවත්වා ඇත. කාලයාගේ ඇවෑමෙන් රජතුමාට මෙම සම්බන්ධතාවය දැනගන්නට ලැබී ඇත.

මෙයින් උරණවූ රජතුමා පුරෝහිත බමුණා රහසිගතව මැරීමට සිතා රාජ පුරුෂයින් ගෙන්වා බමුණා ගෙන ගොස් දැනට බමුණාවල යන ගමේ  පිහිටි විශාල ගැඹුරු වලකට ඉපෙරලන ලෙස නියෝග කරන ලදී. ඒ අනුව රාජ පුරුෂයන් මෙම අලග්ග පුරෝහිත බමුණා ගෙන ගොස් වලට පෙරලන ලද අතර පුරෝහිත බමුණා වලට වැටීමෙන් පසු මැරුණු ලෙස නිහඩව සිට ඇත. බමුණා මැරුණා යැයි සිතූ රාජ පුරුෂයින් ආපසු ගොස් රජුට ඒ පිළිබඳව සැල කර ඇත.

රාජ පුරුෂයින් ගියායින් පසු බමුණා එම වලතුල තිබූ වැල් මුල් වල ආධාරයෙන් ගොඩට විත් රහසිගතව දැනට බමුණාවල විහාරස්ථානයේ විහාරය තිබෙන බමුණාවල කඳුවැටියේ පිහිටි ගල් ගුහාව තම පදිංචිය සඳහා තෝරාගෙන ඇත. මෙම ස්ථානය රහසිගත ස්ථානයක් මෙන්ම ආරක්ෂිත ස්ථානයකි. කල්යාමේදී මෙම බමුණා රහසිගතව ගොස් මෙම මුස්ලිම් කාන්තාව මෙම ස්ථානයට කැඳවාගෙන පැමිණ ඇත. ඉන්පසු බමුණාගේ නෑදෑයින්ද මෙම  ප්‍රදේශයේ පදිංචි වී ඇත. මෙ කාල සීමාවේ කුරුණෑගල රාජධානියේ විශාල කැරැල්ලක් ඇතිවූ බවත් ඉන්පසු රජු ගැන කිසිවක් සඳහන් නොවන අතර කුරුණෑගල රාජධානියද අවසන් වූ බව ජනවහරේ එයි. සිංහල හා මුස්ලිම් ජනයා හරි හරියට මෙම ගමේ වාසය කරයි. එම පිරිස ඒ යුගයට අයත් පරම්පරා වල අය විය හැක. එදා බමුණා මරණයට පත්කිරීම සඳහා බාවිතා කල වල පිහිටි වෙල මෙම ප්‍රෙද්ශයේ පැවතීම නිසා බමුණාවෙල ලෙසද පසුව එය වහරේ පහසුව පිණිස බමුණාවල ලෙසද ජනවහරට එක් වී තිබේ.


කුඹල්පොල

එදා ඒ කුරුණෑගල රාජධානිය සමයයි. එවකට රාජ පරම්පරාවට කුඹල් භාණ්ඩ සැපයීම කල කලුවා එවකට රජකල රජතුමාගේ හොඳහිත දිනාගත් අයෙකි. මෙම අයගේ පැවැත්මට හා දක්ෂතාවයන් කෙරෙහි පැහැදු රජතුමා කලුවාට ගම් වරයක් තෑගි කරන ලදී. කලුවා කුඹල් පරම්පරාවේ අයෙකි. මෙම පෙළපත සඳහා එම අයගේ කරමාන්තය කරගෙන යාමට රජතුමා විසින් වෙන්කරදුන් නිසා මෙම  ප්‍රදේශය කුඹල් ගම විය. පසුව එය කුඹල්පොල ලෙස ජනවහරේ ව්‍යවහාරයට එක්විය.


සංස්කෘතිකමය වටිනාකම්

කුරුණෑගල රාජධානියේ පිහිටි ප්‍රධාන ඓතිහාසික විහාරස්ථානයක් වන බමුණාවල පුරාණ ගල්ලෙන් විහාරය මෙම ගමතුල ඇති වටිනා ඓතිහාසික හා සංස්කෘතිකමය දායාදයකි. 


සේවයකර ඇති ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්

 01 -  එම්.එම්.මාපා මයා               1962 සිට 1972 දක්වා

 02 -  ඒ.එස්.අබේසිංහ මයා            1972 සිට 1979 අගෝස්තු දක්වා

 03 -  බී.එම්. අප්පුහාමි මයා           1979 අගෝස්තු 1981 දක්වා

 04 -  එච්.ජී.හේරත් මයා               1981 සිට 1985 ජූනි දක්වා

 05 -  ජේ.එම්. තිස්ස ජයසේකර මයා  1985 ජූනි 1995 දක්වා    

 06 -  බී.ජේ.වික්‍රමනායක  මයා        1196 සිට 1998 පෙබරවාරි දක්වා

 07 -  ඩ්.එම්.කේ.බී වාසල  මයා       1998 පෙබරවාරි 2001 ජනවාරි දක්වා

 08 -  එස්.ඒ.ජී.එම්. හතුරුසිංහ මයා   2001 ජනවාරි 03 සිට 2001 සැප්තෑම්බර් 14 දක්වා

 09 -  ජේ.එම් ජයම්පති     මයා       2001 සැප්තැම්බර් 15 සිට 2002 මැයි 28 දක්වා

 10 -  පී.එම්.තමරා කුමාරි  මයා       2002 මැයි.29 සිට 2005 ජනවාරි 31 දක්වා

 11 -   එස්. ගාමිණ රංජිත් මයා        2005 පෙබරවාරි   01 සිට 2012 මැයි 31 දක්වා

 12 -  ඩබ්.ජී.ජගත් පුෂ්පකුමාර මයා    2012 ජූනි 01 සිට මේ දක්වා

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola